අවුල් සහ විසඳුම්
මලික් මා දිහා බැලුවේ කල්පනාවෙන්.
“ඇයි විශ්ව දෙක යාවෙන එක කොම්ලිකේටඩ් කියලා - ආපහු ඉස්සර හිටිය විදිහට ඉන්න එක කොම්ප්ලිකේටඩ් වෙන්නේ කොහොමද?”
“මලික් හිතලා බලනවද පසුගිය මාස නවය ගැන? මට මලික් මුණගැහුන හැටි, මයිකල් පවුලේ ක්රිස්මස් පාටි, රස්සා සෙවීම, නීලා… මේ සේරම මොහොතකින් නැති වෙනවා විතරක් නෙවෙයි ඒ ගැන මතකයක් වත් කවුරු ලඟවත් නෑ. මේ දැන් තියෙන මීටිම, සුරාජ්… මේවා කිසිම දෙයක් සිද්ධ වුනේ නැති ලෝකයක් ගැන අපි කතා කරන්නේ…”
නීලා ප්රශ්නයක් ඇහුවා.
“ප්රැක්ටිකල් විදිහට බැලුවොත් ඔය යාවීම අපිට දැනෙන්නේ කොහොමද?”
“ඒ ගැන මං හිතලා බැලුවා - හිතපු දේ හරිද වැරදිද දන්නෙ නෑ නමුත් ඒ ගැන කල්පනා කරා... මං හිතුවේ මෙහෙම අවස්ථාවක්…”
කතාව පටන්ගන්න ඉස්සර මම දිග හුස්මක් ගත්තා.
“මයිකල් පවුලට අපෙ ගෙදර පාටියක් දෙනවා කියලා හිතාගන්න… හොඳද? ඔන්න රෑ දහයට විතර කිරිබති ආයෙත් තියෙන්න පටන්ගන්නවා - විශ්ව දෙක යා වෙලා කිරිබතියට… එතකොට… අපි කතා කර කර ඉන්න ගමන් ඒ තුන්දෙනා ටක් ගාලා අතුරුදහන් වෙනවද? දැන් හිටියා, දැන් නෑ වගේ?”
මලිකුයි නීලයි දෙන්නම කට ඇරගෙන මා දිහා බලාගෙන ඉන්නවා. කතාවක් නෑ.
“කිරිබති ඇති/නැති විශ්ව යාවුනොත්… මයිකල්ට විතරක් නෙවෙයි, අපිටත් කිරිබති තියෙනවා… හැබැයි… හැබැයි මයිකල් පවුලට පාටියට ආරාධනා කරපු ‘අපි’මද දැන් පාටි එකේ ඉන්නේ? ඇත්තටම එතකොට පාටියක් තියෙයිද, මයිකල් පවුලට ආරාධනා කරන්න? නැත්තං හැමදාම කිරිබති තිබුන ලෝකෙක (ඔය දෙන්නා මයිකල් අඳුරන්නෙත් නැති ලෝකෙක) වෙන්න බැරිද අපි ඉන්නේ? ඒ කියන්නේ අපිත් වෙන විශ්වයකට පැනලා, කිරිබති තියෙන, ලංකාව නැති විශ්වයකට!”
කතාව විනාඩියෙන් විනාඩියට අවුල්වෙන බව අපි තුන්දෙනාටම වැටහෙනවා. අපි විශ්ව දෙකක් ගැන කතා කරලා හදීසියෙම අලුත් ‘තුන්වෙනි විශ්වයක්’ හඳුන්වලා දෙනවා! නීලට ඒ ගැන ප්රශ්නයක් තියෙන බව පැහැදිලියි නමුත් ඒක අහන්න පසුබට වෙන බව මලික් දැක්කා.
“මොකද්ද නීලගෙ ඔය කියන්න අදිමදි කරන ගැඹුරු අදහස?”
“මට හිතෙන්නේ… මම හිතුවේ… කිරිබති ආපහු තියෙන්න පටන්ගත්තහම… ලලිත්ගෙ පාටියේදී කියමු… කිරිබති ආපහු ආපු වහාම අපිත් වෙන විශ්වයකට පනිනවනම්… නෑ නැ… පනින කතාවක් මෙතන නෑ… අපෙ විශ්වය වෙනස් වෙන්වනම්... නෑ ඒකත් වැරදි… මයිකල් අතුරුදහන් වෙන වෙලාවෙත්, ඊට පස්සෙත්… ඊට ඉස්සරත් අපි ඉන්නේ/හිටියේ ලංකාව නැති කිරිබති තියෙන විශ්වයක… හරිද?”
මලික් ව්යාකූල මුහුණක් පෙන්වලා මා දිහා බැලුවා.
“ඒ අදහස තේරුම් ගන්න මට වඩා වැඩියෙන් පඩි ගන්න ලොක්කෙක් වෙන්න ඕනෑ… ලලිත්?”
“නීලගෙ කතාව හරියටම හරි! නීලා අන්තිමට කියපු දේ තමයි අද කියවුන බුද්ධිමත්ම දේ… අපි ඉන්නේ/හිටියේ අලුත් විශ්වයක බව පිළිගත්තහම විතරයි අපිට වෙනදේ පැහැදිලි කරන්න පුළුවන් වෙන්නේ… ඒක එතනින් ඔබ්බට ගෙනියන්නේ කොහොමද… නීලා?”
නීලා කතා කරේ ඉතා පරෙස්සමෙන්… බිත්තරයක් උඩ බිත්තරයක් බැලන්ස් කරන්න උත්සාහ කරනවා වගේ පරෙස්සමෙන්.
“ලලිත්ගෙ පාටියෙන්ම පටන්ගමු… ඒ පාටිය තියෙන්නේ කිරිබතියි ලංකාවයි නැති විශ්වයක. ඒ පාටිය දිගටම යයි හදිසියේ කිරිබති එලියට නාවොත්. කිරිබති තියෙන ලංකාව නැති විශ්වයේ පාටියක් නෑ, අපි තුන්දෙනා සාමාන්ය දවසක් ගෙවනවා… ඒ ටික හරි නේද?... රයිට්… දැනට හිතාගන්න මේ විශ්ව දෙක මුල ඉඳන්ම සමාන්තරව දුවනවා කියලා… අපි තුන්දෙනා ඒ විශ්ව දෙකේම ඉන්නවා - ටික ටික වෙනස් ඇති නමුත් ඉන්නවා. මං ටික ටික වෙනස් වෙයි කිව්වේ එහෙම නොවී බැරි නිසා - මයිකල් නොදන්න මම මයිකල් දන්න මට වඩා වෙනස්… අපෙ පාටිය තියෙන වෙලාවේ - ඒ කියන්නේ කිරිබතියි ලංකාවයි දෙකම නැති විශ්වයේ - කිරිබති නැවත තියෙන්න පටන්ගත්තොත් ඒ පාටි තිබුන විශ්වය ආයෙ නෑ… ඒකේ හිටපු අපි තුන්දෙනත් නෑ! නමුත් අනික් විශ්වය - ලංකාව නැති, කිරිබති ඇති විශ්වය තවම ජොලියේ දුවනවා, අපි තුන්දෙනත් එක්ක!”
ඒ සැරේ මලික්ටත් කතාව වැටහුනා වගේ. මිනිහා නීලා දිහා බැලුවේ ආදරෙන් වගේම ආඩම්බරෙන් කියලා මට හිතුනා. නමුත් මම නීලගෙ කතාවේ ඉතුරු ටික සැපයුවා.
“නීලගෙ පහදා දීම නියමයි… ඒකට පින් සිද්ධ වෙන්න අපිට දැන් කියන්න පුළුවන් තව දෙයක්… දූපත් අටක් ගත්තොත්, ගණිතය අනුව එතන විශ්ව දෙසිය පනස් හයක් හැදෙන්න ඉඩ තියෙනවා. ඒ කියන්නේ දූපත් අටක් ගැන කතා කරනකොට, එක දූපතක් නැතිවෙන විදිහවල් අටයි. දූපත් දෙකක් නැතිවෙන විදිහවල් විසි අටයි, තුනක් නැතිවෙන විදිහවල් පනස් හයයි… මගෙන් අහන්න එපා මේක පැහැදිලි කරන්න - ඉස්කෝලේ යන කාලේ ගණිතෙට ඉගෙනගත්තේ… දෙසිය පනස් කතාව හරි - වැරදි වගේ පෙනුනත්…”
මම ලොකු හුස්මක් ගත්තා ඉතුරු ටික කියන්න ඉස්සර.
“දූපත් අටක් ඇති/නැති වෙනවානම් එක වෙලාවේ සමාන්තර විශ්ව දෙසිය පනහක් විතර දුවන්න පුළුවන්… ඒවගෙන් එකක තමා අපි මේ කතා කර කර ඉන්නේ!”
……………………………….
පීටර් ග්රීන් රවුලක් වවලා!
අවට සිටි අයට වඩා උසින් වැඩි පීටර් රේගු පරීක්ෂා ඉවරවෙලා එලියට එනවා දකින්න මට අමාරුවුනේ නෑ. පීටර්ගෙ අලුත් තඹ පාට රැවුල වැඩියම කැපී පෙනුනේ ඩෙනිම් ජීන්ස් සමග ඇඳගෙන හිටපු කළු කමිසේ නිසා. අත වනන මා දැකපු ගමන් පීටර් කෙලින්ම මාවෙත ආවේ දකුණු අත දික් කරගෙන, සිනා මුහුණින්.
“හලෝ ලලිත් - කාලෙකට පස්සේ! … මාව හම්බවෙන්න ආවට බොහොම ස්තුටියි! කෝ බීර?”
පීටර්ට මතකයි මම එයාට ලංකාවේ බීර බොන්න ආරාධනා කරපු හැටි. මට හිනා ගියා.
“වෙල්කම් ටු පැරඩයිස්! බීර බොන්න වෙලා තව තියෙනවා. මේ මගෙ මල්ලී අනුර”
දෙන්නා අතට අත දුන්නේ මොකුත් නොකියා. ගුවන් තොටුපොලෙන් එලියට එන ගමන් මල්ලී පීටර්ගෙ ලොකු මල්ල ඉල්ලගෙන ඉස්සරවුනා, මට යාළුවත් එක්ක කතා කර කර පස්සෙන් එන්න ඉඩ දීලා. මම ගමන ගැනත්, පීටර්ගෙ ආදරවන්තිය සූ ගැනත්, බ්රිස්බන් තොරතුරුත් කෙටියෙන් කතා කරගත්තේ ඒ වෙලාවේ.
මට ඕනවුනේ මගදී තේ කෝප්පේකට විතරක් නවත්තලා කෙලින්ම නුවර යන්නයි. පීටර් ගොඩබහින්න ඉස්සර මේකට එකඟවෙලා හිටපු මල්ලී මට අලුත් අදහසක් ඉදිරිපත්කළේ කාරෙක ලඟදී - සිංහලෙන්.
“මම කාරෙක එලෙව්වොත් ඔය දෙන්නට පුළුවන් මාර කයිවාරුවක් දාගෙන එන්ට. එතකොට අඹේපුස්සේ රෙස්ට් හවුස් එකෙන් පීටර් එක්ක බියර් බොන්නත් පුළුවන්. මම තේ බොන්නං”
පීටර් හිනා වෙලා ‘ගුඩ් අයිඩියා!’ කිව්වේ ‘පීටර්’ සහ ‘බියර්’ යන වචන දෙක් තේරිලා. අපි තුන්දෙනාටම හිනා ගියා. ඇත්තටම අඹේපුස්සේ බීර එක පීටර්ට හොඳට හිතට ඇල්ලුවා. ගමන් මහන්සියයි රස්නෙයි නිසා වෙන්න ඇති පීටර් පලවෙනි වීදුරුව හිස්කළේ මගෙ වීදුරුවෙන් බාගයක් වත් හිස්වෙන්න ඉස්සර.
මුලු ගමනෙදිම මල්ලී අපි දෙන්නට කතා කරගන්න දීලා අයින්වුනා. මාස ගණනක වෙන්වීමක් නොතිබුනා මෙන් අපි පුරුදු විදිහට කතාවට වැටුනා. අපිට කතා කරන්න දේ බොහොමයි - එදිනෙදා ජීවිතේ, රස්සා, අනික් යාළුවන්ගෙ තොරතුරු… එකී නොකී මාතෘකා ගනනාවක් සාකච්ඡාවට ලක්වුනා. ඒ අතරතුරේ පීටර් පාර දෙපැත්තේ දකින දේ විස්තර කරන්නත් නිතරම වගේ සිද්ධවුනා. පේරාදෙනියේ පාලම පහුවෙන වෙලාවෙයි මම කතාව වර්තමානයට ගෙනාවේ.
“මේ මහනුවර නගරේ මායිම. දකුනෙන් යුනිවසිටිය, වමෙන් මල් වත්ත. ඕනනම් දෙකම බලන්න පුළුවන්. අපෙ නවාතැනට ආයෙ හැතැක්ම හතරයි”
ගමන් මලු පීටර්ගෙ කාමරයට දමා මම මල්ලිත් එක්ක මගෙ නවාතැනට ගියේ තව පැය බාගයකින් මෙතනම අවන්හලේ පීටර් මුණ ගැසෙන්න පොරොන්දුවෙලා. නමුත් මල්ලී ඒකෙනුත් අයින්වුනා.
“අයියා… පීටර් කොච්චර හොඳ පොරක් වුනත් මෑන්ගෙ ඉංග්රීසි මට තේරෙන්නෙ නෑ මගෙ ඉංග්රීසි මෑන්ට තේරෙන්නෙ නෑ… අයියගෙ ඉංග්රීසිත් සමහරවිට මට තේරෙන්නෙ නෑ - අයියා පීටර් එක්ක කතා කරනකොට!”
“චුට්ටී හිතාගෙන ඉන්නේ පීටර්ව මගහැරලා හෙට මාවත් අනාථ කරන්නද? ගමේ එනව නේද අපිත් එක්ක?”
“අපොයි ඔවු. ඒක මිස් කරන්නෙ නෑ දහසින් බැඳි පියල්ලකට… ඇලේ නාලා අරක්කු පොව්වන්ට මම ආසාවෙන් බලාගෙන ඉන්නේ!”
“අනේ පලයන් යන්ට! මොනවද රෑට කන්නේ? මම ටවුමට නොගිහින් මෙතනින්ම බීර එකක් බීලා රෑට කනවා. පීටර්ට මහන්සි ඇති ටවුමේ ඇවිදින්න…”
“මං ටවුමෙන් මොකවත් කාල ඇවිත් නිදා ගන්නවා - අයියා එනකන් ඉන්නෙ නෑ. හෙට කීයටද යන්නේ?”
“මං හිතුවේ උදේ ටවුම පැත්තේ ගිහින්, දවල්ට මොකවත් කාලා මෙහෙන් දෙකට විතර යමුද? යනකොට ඉඳි ආප්ප ටිකක් ගන්නත් ඕනෑ…”
“දෙකට පිටත්වෙන එක හොඳයි… නාන්ටත් වෙලා තියාගෙන!... මම ගලගෙදර තැනකට ඉඳි ආප්ප ඕඩරයක් දුන්නා - හය හමාරට ගෙදෙට්ට ගෙනත් දෙයි… තව ඕන ඕන දේත් අරගෙන තියෙන්නේ…”
“තැන්ක්යූ චුට්ටී!”
…………………………..
නීලා මලික් දිහා බැලුවේ ප්රශ්නයක් අහන්න ලෑස්තියෙන් වගේ. නමුත් මලික් අත උස්සලා නීලට ඉස්සර කතා කරා.
“ලලිත් කියනවද මේ ලෝක දෙසිය පනහ තියෙන්නේ කොහෙද කියලා? අනික… ඒ සේරගෙම මමත් ඉන්නවද?”
නීලත් වචන කීපයක් එකතුකරේ මලික්ට සහයෝගය පෙන්වලා.
“මාත් අහන්න ගියේ ඒකමයි… “
දෙන්නම උත්තර බලාපොරොත්තුවුනේ මගෙන්. භෞතික විද්යාව හදාරලා නැති අයට මේවා තේරුම් කිරීම ලේසි නැතත් මම උත්සාහ කරා.
“මලික්ගෙ ‘මේ ලෝක තියෙන්නේ කොහෙද?’ කියන ප්රශ්නේ – මාර එකක්. ඒ වගේම මාර අමාරු එකක්! භෞතික විද්යාවේ මේ වගේ දේ තේරුම් කරන්නේ ‘මාන’, ඉංග්රීසියෙන් ‘ඩිමෙන්ශන්ස්’, කියන විකල්පයකින්. ජ්යාමිතියේ අපි මේ ගැන ඉගෙනගත්තා…”
“යම් දේක දිග, පළල, ගනකම අපිට ලේසියෙන් තේරුම් ගන්න පුළුවන්; මේවා අපි දන්න ඕනෑම දේකට තියෙන ස්වභාවික ගුණයක් නිසා… දැන් අපි කෙලින් ඉරක් ගැන හිතුවොත්… ඒකට තියෙන්නේ දිගක් විතරයි; පළලක් ගනකමක් නෑ. හරිද?... රයිට්. ඒකට අපි කියනවා ඒකමාන - ඩිමෙන්ශන් එකයි - කියලා…”
“මේ මේසේ මතුපිට වගේ පැතලි තලයක් ගත්තොත් ඒකට දිගයි පළලයි තියෙනවා හැබැයි ගනකමක් නෑ. ඩිමෙන්ශන් දෙකයි; ද්විමාන. ගනකමකුත් තියෙන දෙයක් - පෙට්ටියක් වගේ - එතකොට ත්රිමාන; ඩිමෙන්ශන් තුනයි… අපි ජීවත්වෙන ලෝකේ ත්රිමානයි - ඉංග්රීසියෙන් ත්රී ඩිමෙන්ශනල්… ඒ ටික හරිද?”
දෙන්නම තේරුනත් නැතත් මගෙ වචනේ පිළිගත්ත බව හැඟෙව්වා.
“අපෙ මනුස්ස මොලේ ත්රිමාන ලෝකෙට පුරුදුවෙලා ඉන්නේ. දිග, පළල, ගනකම අපිට පුරුදුයි… අනික් අතට ෆෝර් ඩිමෙන්ශනල්, චතුර්මාන, ලෝක තේරුම් ගන්නවා තියා ඒවා හිතේ මවාගන්නවත් අපිට බෑ… ජිවත්වෙන පරිසරයට අයිති නෑ; අස්වාභාවිකයි”
මම තප්පර කීපයක් සද්ද නැතුව හිටියා.
“නමුත් එහෙම ලෝක විද්යාවට අස්වාභාවික නෑ… මාන තුනකට වැඩි - ඩිමෙශන් තුනට වැඩි- ලෝක වල ගුණ, ඒවාගෙ හැසිරීම් ගැන අපි හුඟක් දන්නවා… නොපෙනුනාට… අතගා බලන්න බැරිවුනාට… එහෙම ලෝක දෙසිය පනහක් මෙතන තිබුනත් අපිට ඒවා පෙනෙන්නෙ නෑ; අතගා බලන්නත් බෑ…”
මලික් මේ පැහැදිලි කිරීම සම්පූර්නෙන්ම තේරුන බවක් වත් පිළිගත්ත බවක් වත් පෙන්නුවේ නෑ. නමුත් හිනාවුනා.
“බොස් කියනවානම් මට ඒ ඇති! මේ කාමරේ ලෝක දාහක් තිබුනත් මට කමක් නෑ මගෙ ඇඟේ හැප්පෙන්නෙ නැත්තං!”
ඒකට නීලටත් හිනා ගියා.
“ඇයි ලලිත් කිව්වේ ඒවා දකින්න වත් අතගාලා බලන්න වත් බෑ කියලා… එතකොට කොහොමද හැප්පෙන්නේ? මට හිතාගන්න බැරි එකම දේ… මේ කාමරේ මලික්ලා දෙසිය පනහක් හිටියොත්…!”
අපි තුන්දෙනාම හිනා වෙන්න පටන් ගත්තා. මගෙ තේරුම් කරදීම හොඳද නරකද යන්න ප්රශ්නයක් නෙවෙයි - අපි ආයෙත් ඊයේ හිටිය සහෝදරත්වයේ. නීලා ආයෙත් කතාකළේ කරදරයකින් ගැලවුන කෙනෙක් වගේ සන්සුන්ව.
“ලලිත් කියපු සේරම මට තේරුනේ නැතුව ඇති. නමුත් එතනින් ගතහැකි සමහර නිගමන නම් මට හොඳටම අල්ලනවා… අපි අපෙ දූපත් ඇති/නැති ලෝක ගැන හිතුවොත්… ඒ හැම එකේම මම මගෙ ජීවිතේ නොකඩවා ගෙවනවා… හදිස්සියේ මං අතුරුදහන් වෙන්නෙ නෑ… රයිට්? ඒ කියන්නේ අපි නැතිවුන ලෝක ගැන දුක්වෙලා වැඩක් නෑ. අපිට ඒවට යන්න බැරිවුනාට, අපි ඒවගෙ දැනටමත් ඉන්නවා! මේ අපි දැන් ඉන්න ලෝකේ - දැන් අපි තුන්දෙනා කතා කර කර ඉන්න මේ ලෝකේ - අපෙ ජීවිත සතුටෙන් ගෙවන්න අපිට පුළුවන්, නැති ලෝක ගැන දුක් නොවී… ඒක මට හුඟක් වටිනවා!”
නීලා කතාකරේ ඇත්තටම සතුටින්. නීලගෙ සතුට ගැන මමත් සතුටුවුනා. නමුත් මලික් නළල රැලි කරගෙන මා දිහා බලාගෙන හිටියා හරියට නීලගෙ සතුට බිඳදමන්න අකමැත්තෙන් වගේ.
“මලික්?”
මලික් කතාකළේ නීලා දිහා නොබලා.
“මට එකම ප්රශ්නයයි තියෙන්නේ… ඔය ලෝක දෙසිය පනහේ වෙන වෙනම ජොලියේ ඉන්න අපි… මං කියන්නේ මේ කාමරේ දැන් ඉන්න අපි තුන්දෙනා - අනික් ලෝකවල අපි නෙවෙයි… අපිට ඇයි අපෙ පරණ ජීවිත තවම මතක? අපිට දකින්නවත් අතගාලා බලන්නවත් බැරි අනික් ලෝකයක් ගැන අපිට මතක ඇයි? ලංකාවක් නැති බව මම දන්නවා. එහෙම නම් ඇයි අපි ලංකා කව හදාගෙන, නෝටිස් ගහ ගහ තව ‘ලාංකිකයොයි’ නැති දූපත් කාරයොයි සොයන්නේ?”
මලික් දිග හුස්මක් අරගෙන ආයෙත් කතා කරා.
“ලලිත් කියපු සේරම ඇත්ත වෙන්න පුළුවන්… හැබැයි මං හිතන්නේ අපිට නොතේරෙන දේවල් තියෙනවා. සමහරවිට හුඟාක් දේවල්… මං ඉස්සරවෙලා හිතාගෙන හිටියේ ලලිත්ගෙ අදහස් අඩුම ගානේ සුරාජ්ටවත් කිව්වොත් හොඳයි කියලා. හැබැයි දැන් ඒක ගැන ශුවර් නෑ… කිසි දෙයක් ගැන ශුවර් නෑ… මෙතන ඉන්න නීලයි ලලිතුයි හැර!”